Tuesday, January 25, 2011

කරන්නට බොහෝ දේ ඇත.....මේ ඇරඹුම පමණයි.........

අපි හුදකලාවට ඔච්චර බය වෙන්නෙත් කට්ටිය එක්ක එකට ඉන්න මෙච්චර ආස ඇයි කියල මං ගොඩ වෙලාවට මගෙන්ම අහනවා. අපි හැමෝගෙම ජීවිත වලට විශේෂයෙන් ලං වුන අය ඉන්නවා. අපි හැමෝම කාගෙ හරි සමාගමයක් හොයනවා. අපිට අපේ පැවැත්මට කාගෙ හරි සහය හැම වෙලාවේම ඕනේ වෙනවා. එහෙම අවශ්‍ය නොවෙන එකම දෙයයි මේ ලෝකේ තියෙන්නේ. ඒ තමා සොබාදහම. සොබාදහමට කවදාවත් අපිව ඕනේ වෙන්නේ නෑ එයාගේ පැවැත්මට. අපි නැතුව ඩයිනසෝරයන් එක්ක ජීවත් වුන කාලයක් තිබ්බා. ඒත් හැමදාම අපිට ජීවත් වෙන්න සොබාදහම ඕනේ වුනා. සමහර වෙලාවට මට හිතෙනවා අපි මෙච්චර කට්ටිය එක්ක එකට ඉන්න කැමති අපි සොබාදහමට බය නිසාද කියලත්. අපේ කට්ටිය මොන කයිවාරුව කියෙව්වත් හිතේ ඇතුලෙම තැනකින් අපි සොබාදහමට බයයි කියල මට හිතෙනවා.
අපි දන්නවා අපි වැරදි කරනවා නං සොබාදහම් මාතාවගෙන් අපි දඩුවම් ලබනවා කියල. (අපි සොබාදහමට කියන්නේ සොබාදහම් මාතාව කියල නේ). ඒ දඩුවම් සමහර වෙලාවට තරවටු කිරීම් විතරයි. "ජීවිත හානි වලින් තොර දේපල හානි". සමහර ඒවා ඇත්තටම දරුණුයි. "මහා විශාල ස්වභාවික විපත්". ඒ හැමදේම අපි හැදෙයි කියල බලාපොරොත්තුවෙන් කරපු අනතුරු ඇඟවීම් විතරයි. ඒත් කවදාහරි අපි සමස්ත ලෝකයටම තර්ජනයක් වුනොත් අපි ඩයිනසෝරයන් වගේ අතුගෑවිල යාවි. නැත්තන් සමහර විට අර මුරණ්ඩු ළමයි කරනවා වගේ මුළු ගෙදරම විනාශ කරගෙන ඒ විනාශයේම මියදෙන්නත් පුළුවන්.
මං දන්නවා මේ කියන ගොඩාක් දේවල් අපේ වැඩිහිටි පරම්පරාවට තේරුම් කරලා දෙන්න අමාරුයි. මොකද එයාල ජීවත් වුනේ ස්වභාවික සම්පත් යහමින් තියෙන, එක්කෙනාට එක්කෙනා කපාගෙන නැගිටින්න හදන යුගයක. ඒත් අපි තරුණ පරම්පාරාව දන්නවා මේකේ තියෙන බරපතලකම ගැන. අපිට හිතන්න වෙලා තියෙනවා අපිට පස්සේ එන පරම්පරාවට අපි මොකද කරන්නේ කියල. අපි ඔවුන්ගේ ජීවිත උදුරගන්නවද, රකිනවද කියල. මන් දන්නවා කිසිම කෙනෙක් කැමති නෑ මරණයක සාක්ෂි කාරයෙක් වෙන්න කියල. අන්න ඒ නිසා අපි හැමෝම එකතු වෙලා හරි තනි තනියෙම හරි දැනට ඉතුරු වෙලා තියෙන ස්වභාවික සම්පතුත් සුන්දරත්වයත් ආරක්ෂා කරගමු.
චිත්‍රයක් අදින චිත්‍ර කාරයෙක් එයාගේ චිත්‍රය පාට පාට දාල ලස්සනට අදිනකොට, වැරදීමකින් හරි ඒ පාට එකකට එකක් මිශ්‍ර වෙලා කළු පාට පැල්ලමක් ඇති උනොත් එක්කෝ චිත්‍රය විසි කරනවා නැත්නම් කළු පැල්ලම මකල දානවා. ඒත් ඒ වර්ණ එකතු වෙලා චිත්‍රය තවත් ලස්සන කරනවා නම් ඒ ලස්සන තවත් මතු කරගන්නවා.
චිත්‍ර කාරයා ස්වාභාවදර්මයෙන් ඉපදුනු පුද්ගලයෙක්. ඉතින් ඔහුත් සොභාදහමත් අතර වෙනසක් තියෙන්න විදිහක් නෑ නේද?

Friday, January 14, 2011

සීතල ඇට ම්දුළු වලට රිංග යා නොදී.......

මම මේක ලියන්න පටන් ගන්න විධි ගොඩක් හිතුවා. ගොඩක් වෙලාවත් නාස්ති කලා. මොකද මේක මගේ පළවෙනි blog post එක. අන්තිමේදි මං තීරණය කළා කෙලින්ම කාරණාවට බහින්න. මොකද මේ සීතල ආවෙ එක පාරටනෙ. ගිය අවුරුද්දේ, ඒ කියන්නෙ මීට මාස 2කට කලින් අපි හිටියෙ ග්‍රීස්මෙන් හෙම්බත් වෙලා, ඒ අවුරුද්දේ තමයි කාලගුණ වාර්තා වල රස්නෙම මාසයට හිමි තැන දිනා ගෙන ඉන්නෙ..... එහෙම වෙලත් මේ හදිස්සියෙම අපි මේ සීතලේ වෙවුලන හැටි දැක්කම සතුටු වෙන්නත් හිතෙනව.....ඒත් මට බය හිතෙනව. අපි හිතනවට වඩා මේ සොබාදහම හරිම බලසම්පන්නයි. මං ඔයාලට ලියන්න හිතුවෙත් අපි මෙච්චර කල් සොබාදහමට කරපු දේවලුත්, ඒවයින් අපිට අනික් පැත්තට හම්බවුණ දේවලුත්, මුළු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්ම අපිට කරන්න පුළුවන් දේවලුත් ගැන කතා කරන්න කියලා. ඉතින් මේ සීතල ගැන ගත්තොත්, ලංකාවෙ කොළඹ නගරයේ අවුරුදු 62කින් වාර්තා වුණ අඩුම උෂ්ණත්වය වාර්තා වෙනවා. සුද්දන්ගෙ රටේ අවුරුදු 26කින් වාර්තා‍ වුණ අඩුම උෂ්ණත්වය ලු. එතකොට මහ රැජිණ ගෙ රටේ සීතල නැති කරන්න ගල්ෆ් කලා‍පයේ මුහුදු රැලි වලින් අරන් එන උණුසුම මදි ලු. මේවා සීතල ගැන කියවෙන නිකම්ම නිකන් වාර්තා විතරයි. ඒත් මේ සීතල නිසා මාලුයි කුරුල්ලොයි එයාලගෙ ජීවිත වලින් වන්දි ගෙවනවා. මං දෙයියන්ගෙන් ඉල්ලනවා මට මේ කතාව මිනිස්සු සම්බන්ධයෙන් කියන්න වෙන එකක් නෑ කියලා.......