Saturday, February 5, 2011

මසැසින් දුටුවෙමි, මනසින් බැලුවෙමි.......
තින් යාලුවනේ, මේ දවස් වල කට්ටිය මතක ඇතුව කුඩ එහෙම අරන් නේද එලියට බහින්නේ? කොයි මොහොතේ වැස්සක් කඩන් පාත් වෙයි කියල දන්නේ නැනේ. ඉතින් මේ නවතින්නේ නැති වැස්සයි මන් පෙරේදා ගියපු ගමනකුයි නිසා ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්න ඕනේ කියල මන් හිතුවා. මේ දවස් වල වැස්ස නිසා අම්පාර, අනුරාධපුරේ, නුවරඑලිය, මාතලේ වගේ පැති වල වෙලා තියෙන විනාශය ඔයාලට පේනවා ඇති නේ? මන් ඒ ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නැනේ. මන් ඔයාල එක්ක කතා කරන්න යන්නේ ආපු විනාශයක් ගැන නෙමේ. එන්න තියෙන විනාශයක් ගැන.
මන් කිවුවනේ මන් පෙරේදා ගමනක් ගියා කියල. ඒ කුරුණෑගල පැත්තේ තියෙන ගල්ගමුව කියන නගරයට. මම ගියා කියල කිවුවට මම තනියම ගියපු ගමනක් නෙමේ. මගේ තව යාළුවො කට්ටියක් එක්ක උස්ගල සියබලාගමුව කියන වැව බලන්න ගියපු ගමනක්. ඉතින් ඒ ගියපු ගමනේදී අපිම අපේ ඇස් වලින් දැක්ක කන් වලින් අහපු දේවල්
තමා මන් ඔයාල එක්ක බෙදා ගන්න හදන්නේ.
මන් කලින් කියපු නම් වලට සාපේක්ෂව කුරුණෑගල කියන නම නං ඔයාලගේ කනට වැඩිය වැටෙන්නේ නැතුව ඇති මේ දවස්වල. ඒ වුනාට ඒ පැත්තේ වෙලා තියෙන විනාශයේ නං ලොකු වෙනසක් නෑ. ඇත්ත ඒ පෙත්තේ ගංවතුර නෑ. ඒ මිනිස්සුන්ට ගංවතුර නැති උනාට කුඹුරු වලට නං හොදටම ගං වතුර. අපිට වගේ ගොයම් ගස් වලට ගං වතුරෙන් බේරෙන්න කියල උස තැනකට නගින්න පුළුවන් යැ.. කුරුණෑගල දිස්ත්‍රික් වාරිමාර්ග නිලධාරීන් කියන විදිහට කුඹුරු වලින් 25% ක් වත් බේරගන්න බැරි වෙයිලු. හැමෝම එකතු වෙලා වැඩි වතුර බැහැල යන්න කියල පොඩි පොඩි ඇළ වල් කපනවා. ඒත් ඉතින් දවස් 3 ක් විතර තිස්සේ ඉදන් නවත්තන්නේ නැතුව ඒක දිගට වහිද්දි මොන ඇළ කැපුවත් වතුර බහින්නේ හරිම
හෙමින්නේ. යාලුවනේ, මේ තමා මහා කන්නේ අස්වැන්න නෙලන කාලේ. මේ වැස්සේ ඔය අස්වැන්න කපන්නත් බෑ. කපල තියාගන්න, වෙලා ගන්න විදිහකුත් නෑ. ඉතින් සමහර වී ඇට වැස්සත් එක්ක හොදට ගස් වලම පැල වෙලා. සමහර ඒවා පුස් කාල. ඒ විතරක් නං මදැයි, ගොයන් ගස් පිටින්ම වී කරල් බිමට කඩන් වැටිලා.
මොකද වී කරල් පීදුනම ගොයම් ගහට බර වැඩියි දරාගෙන ඉන්න.

ඉතින් ඇයි මෙහෙම උනේ?? සාමාන්‍යයෙන් ඊසාන දිග මෝසම් වැහි ජනවාරි වෙද්දී ඉවර වෙනවා. එතකොට අස්වැන්න නෙලන කාලෙට වහින්නේ නෑ. ඒත් මේ පෙබරවාරිත් වෙලා මේ වැස්ස නැවතිලා නෑ. මේ වැස්ස ගෙනාවේ මුළු ලංකාවටම දරාගන්න බැරි තරං වතුර ගොඩක්. ඊටත් වැරදි වෙලාවක. මේකෙන් උතුරු මැද පළාතට විතරක් නෙමේ මුළු ලංකාවටමයි කන කොකා හඩන්නේ, කෑම හිඟ වෙලා.
ඒ මිනිස්සු කියනවා ඒ ගොල්ලන්ගේ මුළු ජීවිතේටම මෙහෙම වැස්සක් වැහැල නෑ කියල. හැමෝම මේකට දොස් පවරන්නේ "ලා - නිනා" ට. අපිට එහෙම දොස් පවරන්න අයිතිය තියෙනවා අපි ලංකාවේ වැසි වනාන්තර විනාශ නොකළ නං. ගඟට, ඇලට අපි කුණු නොදා හිටිය නං. ඔයාල දන්නවද සමහර වැවු වල වාන් දොරටු හිර වෙලා පොලිතින් වලින්. එකෙන් වැවු බැම්ම කැඩෙන්න අවධානමක් තියෙනවා. ඒවා කලේ "ලා - නිනා" නෙමෙයි..අපේ වැසි වනාන්තර 1900 ඉදන් අද වෙනකොට 70% ඉදන් 15% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වනාන්තර වලින් තමයි අහසින් වැටෙන වතුර ටික රට ඇතුලේ පාලනය කලේ.
ගොඩක් අය මේවා දන්නවා. දකිනවා. ඇහෙනවා. ඒත් බලන්නේ නෑ. අහන්නේ නෑ.එහෙම ඇහුවොත් අපිට පෙනෙයි අපි ඉන්නේ මහා විනාශයක මුල කියල. අපි පරක්කු වැඩි නෑ යාලුවනේ... තාමත් කල් තියෙනවා ඒ විනාශයෙන් ගැලවෙන්න.